Wednesday, March 25, 2020

සතියෙන් හා නුවණින් මරණය සිහිකරන්න (උරග ජාතකය)



බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරේ වැඩ වසන සමයේ තමන්ගේ පුත්‍රයා මළ ශෝකයෙන් නිවසටම වී සිටි එක්තරා උපාසකයෙක් අරබයා දේශනා කළ උරගජාතකය මේ කල සෑම දෙනාටම තමන්ගේ ජීවිතයට භාවනා මනසිකාරයක් එක් කරගැනීම පිළිබඳ වටිනා උපදෙස් රැසක් ලබා දේ.
අතීතයේ කසී රට, බරණැස් නුවර ධම්මපාල නම් එක්තරා බමුණු කුලයක් විය. එහි බමුණා ද, බැමිණිය ද, පුතා ද, දියණිය ද, ලේලිය ද එමෙන්ම දාසිය ද යන සියලු දෙනා විසින් ම මරණසතිය පුරුදු පුහුණු කරගෙන සිටින ලදී. යමෙක් නිවසින් පිටත් වන්නේ නම් අනෙක් අයට සුදුසු අවවාද අනුශාසනා ලබා දී, තමන්ගේ ජීවිතය පිළිබඳ අපේක්ෂාවකින් තොරව, ආපසු පැමිණීමට පවා හැකි වේ ද යන්න පිළිබඳ අපේක්ෂාවකින් තොරව පිටව යති.
දිනක් බමුණා සිය පුතා ද සමඟ කුඹුරට ගොස් සීසාන අතර පුතා වියළි තණකොළ, දර ගොඩක් සාදා එහි ගිනි ඇවිළුවේ ය. අසල රුක් බෙණයක සිටි දරුණු සර්පයෙක් බියෙන් පිටතට විත් ඒ පුතාට දෂ්ඨ කළේය. විෂ වේගය හේතුවෙන් පුතා එතැනම කලුරිය කළේය.
තම පුතා කලුරිය කළ බව දැනගත් බමුණා නිතර මරණසතිය පුරුදු පුහුණු කර තිබූ බැවින් ශෝක කිරීමකින් තොරව නිවසට පණිවිඩයක් යැවීම පිණිස අසලින් ගමන්ගත් පුද්ගලයෙක් දැක කතා කර,
“මිතුර, ම නිවසට ගොස් බැමිණියට කියන්න, මා කී බවට ‘නහා පිරිසිදු වී, පිරිසිදු වස්ත්‍ර හැඳ, එක් අයෙකුට පමණක් බත් මුලක් ද රැගෙන, මල් ගඳ විලවුන් ද රැගෙන වහාම පැමිණෙන්න කියා ” යැයි කීවේය.
ඒ පුරුෂයා ද එසේම නිවසට ගොස් බැමිණියට පණිවිඩය දුන් අතර බැමිණිය ද නිතර මරණසතිය පුරුදු පුහුණු කරන බැවින් කල්පනා කළාය.
‘අද ම සැමියා හා පුත්‍රයා යන දෙදෙනාම කුඹුරට ගිය නමුත් එක් අයකුට පමණක් බත් ගෙනෙන්නට කියන්නේ, නා පිරිසිදු වී පිරිසිදු වස්ත්‍ර හැඳ එන්නට කියන්නේ ඒකාන්තයෙන්ම ම පුතු මරණයට පත් වන්නට ඇති’ යැයි සිතා කියූ පරිද්දෙන් ම එක් අයකුට පමණක් බත්මුලක් පිළියෙල කරගෙන, සෙසු අය ද සමඟ කුඹුරට පැමිණියාය.
බමුණා ද නා, පිරිසිදු වී, දහවල් ආහාරය ද අනුභව කොට, සියලු දෙනා සමඟ එක්ව චිතකයක් සාදා පුතාගේ සිරුර එහි නංවා දැවීම කළේය.
මියගිය පුතා මරණසතිය වැඩීමේ ආනිසංසයෙන් දෙදෙව්ලොවට අධිපති ශක්‍ර දේවේන්ද්‍රයාව උපන් අතර තමන්ගේ පෙර ආත්මභාවය කුමක් දැයි විමසා බලනුයේ සියලු දේ  දුටුවේය. පවුලේ අයට අනුග්‍රහ කරනු පිණිස, චිතකය දල්වා ඇති තැනට බ්‍රාහ්මණ වේශයකින් ආවේය. පැමිණ,
“නුඹලා කුමක් ද මේ දවන්නේ? මුවෙක් ද? අපටත් මස් කොටසක් දිය හැකි ද?” යැයි අසා සිටියේ ය.
“බමුණ, මුවෙක් නොවෙයි. මනුෂ්‍යයෙකි”
“කවුද? නුඹලාගේ සතුරු කෙනෙක්වත් ද?”
“නැත, සතුරෙක් නොව ඉතාම ගුණවත් වූ මගේම ඕරස පුත්‍ර රත්නයයි” යි බමුණා පිළිතුරු දුන්නේය.
“කිමද? එබඳු ගුණවත් පුත්‍රයා මිය ගිය කල්හි ශෝක නොකරන්නේ ද?”
එය අසා බමුණා තමන් ශෝක නොකිරීමේ හේතුව ගාථා දෙකකින් පවසා සිටියේ ය.
උරගොව තචං ජිණ්‌ණං, හිත්‌වා ගච්‌ඡති සං තනුං;
එවං සරීරෙ නිබ්‌භොගෙ, පෙතෙ කාලකතෙ සති.
ඩය්‌හමානො න ජානාති, ඤාතීනං පරිදෙවිතං;
තස්‌මා එතං න රොදාමි, ගතො සො තස්‌ස යා ගතී.
(දිරූ හැව හැර යන සර්පයා මෙන් ජීවිතේන්ද්‍රිය නැති බැවින් සිය ශරීරය හැරදා පරලොව ගිය කල්හි, දවනු ලබන්නේ නෑයන්ගේ හැඩීම් වැළපීම් නොදනී. එහෙයින් මළා වූ මොහුට නොහඩමි. ඔහුගේ යම් ගතියක් ඇත් ද, හේ එපරිදි ගියේය)
එවිට ඒ බමුණු වෙසින් සිටි ශක්‍රයා බැමිණියගෙන් ද ශෝක නොකිරීමේ හේතුව අසා සිටියේය. ඇය ද ගාථා දෙකකින් මෙසේ පැවසුවාය.
අනබ්‌භිතො තතො ආගා, නානුඤ්‌ඤාතො ඉතො ගතො;
යථාගතො තථා ගතො, තත්‌ථ කා පරිදෙවනා.
 ඩය්‌හමානො න ජානාති, -පෙ- ගතො සො තස්‌ස යා ගතී.
(කැඳවීමක් නැතිවම මෙලොවට ආවේ, අනුදැනීමක් නැතිවම මෙලොව හැර ගියේය. යම් සේ ආයේ ද එසේම ගිය බැවින් එහි ලා කවර හැඩීමක් ද? දවනු ලබන්නේ නෑයන්ගේ හැඩීම් වැළපීම් නොදනී. එහෙයින් මළා වූ මොහුට නොහඩමි. ඔහුගේ යම් ගතියක් ඇත් ද, හේ එපරිදි ගියේය)
අනතුරුව ශක්‍රයා නැඟණියගෙන් ද ශෝක නොකිරීමේ හේතුව විමසා සිටියේය. ඇය ද ගාථා දෙකකින් මෙසේ කීවාය.
සචෙ රොදෙ කිසා අස්‌සං, තත්‌ථ මෙ කිං ඵලං සියා;
ඤාතිමිත්‌තසුහජ්‌ජානං, භිය්‍යො නො අරතී සියා.
ඩය්‌හමානො න ජානාති, -පෙ- ගතො සො තස්‌ස යා ගතී.
 (ඉදින් හඩන්නේ නම් මම කෘශ ශරීර ඇත්තෙක් වෙමි. ඒ මට කවර ප්‍රයෝජනයක් ද? ඤාතිමිත්‍ර හිතවතුන්ට මා කෙරෙහි වැඩියක් නොඇල්ම වන්නේය. දවනු ලබන්නේ නෑයන්ගේ හැඩීම් වැළපීම් නොදනී. එහෙයින් මළා වූ මොහුට නොහඩමි. ඔහුගේ යම් ගතියක් ඇත් ද, හේ එපරිදි ගියේය)
අනතුරුව මියගිය පුත්‍රයාගේ බිරියගෙන් ඇසුවේය. ඇය මෙසේ පිළිතුරු දුන්නාය.
යථාපි දාරකො චන්‌දං, ගච්‌ඡන්‌තමනුරොදති;
එවංසම්‌පදමෙවෙතං, යො පෙතමනුසොචති.
ඩය්‌හමානො න ජානාති, -පෙ- ගතො සො තස්‌ස යා ගතී.
(යම් සේ කුඩා දරුවෙක් අහසේ යන සඳ දැක හඩා එය ඉල්ලා ද, මිය පරලොව ගිය පුද්ගලයාට නැවත නැවත ශෝක කරන තැනැත්තා ද එපරිදිමය. දවනු ලබන්නේ නෑයන්ගේ හැඩීම් වැළපීම් නොදනී. එහෙයින් මළා වූ මොහුට නොහඩමි. ඔහුගේ යම් ගතියක් ඇත් ද, හේ එපරිදි ගියේය)
අනතුරුව දාසියගෙන් ද විමසා සිටියේ ය.
යථාපි බ්‍රහ්‌මෙ උදකුම්‌භො, භින්‌නො අප්‌පටිසන්‌ධියො;
එවංසම්‌පදමෙවෙතං, යො පෙතමනුසොචති
ඩය්‌හමානො න ජානාති, -පෙ- ගතො සො තස්‌ස යා ගතී.
(බිඳුණු වතුරකළය නැවත ගැළපිය නොහැක්කා සේ යමෙක් මියගිය පුද්ගලයා වෙනුවෙන් ශෝක කරයි නම් එය නිශ්ඵල දෙයකි. දවනු ලබන්නේ නෑයන්ගේ හැඩීම් වැළපීම් නොදනී. එහෙයින් මළා වූ මොහුට නොහඩමි. ඔහුගේ යම් ගතියක් ඇත් ද, හේ එපරිදි ගියේය)
සක් දෙවිඳු ඔවුන්ගේ කථා අසා පැහැදුනු සිතැත්තේ
“නුඹලා විසින් මැනවින්ම මරණසතිය වඩන ලදී. මෙතැන් පටන් ගොවිතැන් කටයුතු කිරීමක් අවශ්‍ය නොවේ යැයි පවසා, ඔවුන්ගේ නිවස සප්ත රතනයන්ගෙන් පුරවා,
“අප්‍රමාදීව දන් දෙවු, සිල් රකිවු, පොහොය සිල් රකිවු යැයි අවවාද දී, තමන් කවුරුන්ද යන්නත් හෙළි කොට, දෙව්ලොවටම ආපසු ගියේය.
එබැවින් නිරන්තරයෙන් මරණසතිය වැඩිය යුතු වේ. වඩන ලද මරණසතිය ඇති තැනැත්තාට මහත්ඵල මහානිසංස බව බුදුරජාණන් වහන්සේ විසින්ම දේශනා කරන ලදී.
“මරණස්‌සති, භික්‌ඛවෙ, භාවිතා බහුලීකතා මහප්‌ඵලා හොති මහානිසංසා අමතොගධා අමතපරියොසානා.
“මහණෙනි, වඩන ලද, බහුල වශයෙන් වඩන ලද මරණසතිය මහත්ඵල මහානිසංස වෙයි. නිවන් පිහිටකොට ඇතියේ වෙයි. නිවන කෙළවරකොට ඇතියේ වෙයි
එහෙයින් මේ බුදුසසුනේ අප්‍රමාදී ව නිරතුරු මරණසතිය වඩමු.

No comments:

Post a Comment

භාවනාවට සූදානම් වීම - ශීලය පිරිසිදු කරගැනීම

සමථ භාවනා, විදර්ශනා භාවනා වශයෙන් කුසල් සිත වැඩීම සඳහා සූදානම් වන සියලුදෙනාම පළමුව තමතමන්ගේ ශීලය පිරිසිදු කරගත යුතු වේ. පිරිසිදු සිල් ඇත...

Rev. Maho Gnanaloko