Friday, April 17, 2020

භාවනාවට සූදානම් වීම - ශීලය පිරිසිදු කරගැනීම


සමථ භාවනා, විදර්ශනා භාවනා වශයෙන් කුසල් සිත වැඩීම සඳහා සූදානම් වන සියලුදෙනාම පළමුව තමතමන්ගේ ශීලය පිරිසිදු කරගත යුතු වේ. පිරිසිදු සිල් ඇති තැනැත්තාගේ සමාධිය ශක්තිමත් වන බව, මහත්ඵල මහානිසංස වන බව බුදුරජාණන් වහන්සේ මහා පරිනිබ්බාණ සූත්‍රයේ දී ‘සීල පරිභාවිතො සමාධි මහප්ඵලො හොති මහානිසංසො’ යැයි දේශනා කොට වදාළ සේක. එහෙයින් පළමුකොටම ශීලය පිරිසිදු කරගත යුතු වේ.
ශීලය සතරාකාර වේ. එය සතර සංවර ශීලය ලෙස ද හැඳින්වේ. නිවන් සාක්‍ෂාත් කරගැනීම පිණිස භාවනා වඩන තැනැත්තා විසින් මෙම සතර සංවර ශීලයම පිරිසිදු කරගෙන සිවු පිරිසිදු ශීලයක පිහිටිය යුතු බව ධර්මයේ සඳහන් වේ. එනම්,
1. ප්‍රාතිමෝක්‍ෂ සංවර ශීලය – බුදුරජාණන් වහන්සේ විසින් පනවා වදාළ සිකපද සංඛ්‍යාත ශීලය ප්‍රාතිමෝක්‍ෂ සංවර ශීලය නම් වේ. ඒ අනුව උපසපන් භික්‍ෂුවක් නම් ස්වකීය උපසම්පදා ශීලය ද, සාමණේර හිමි නමක් තමාට අදාළ ශීලය ද, සෙසු උපාසක උපාසිකාවෝ තම නිත්‍ය ශීලය වන පංචශීලය හෝ පෙහෙවස් සමාදන් වීම් වශයෙන් පොහොය අටසිල් දසසිල් වශයෙන් ද ශීලය පිරිසිදු කර ගත යුතු වේ. ඒ අනුව සිල්පද බිඳී ඇත්නම් ඒවා නිසියාකාරව පිරිසිදු කරගත යුතු වේ. ගිහි පින්වතුන් භාවනාවට ප්‍රථමයෙන් පංචශීලය හෝ අටසිල්, දසසිල් වශයෙන් ශීලය අදිටන් කරගැනීම වඩාත් සුදුසු වේ.
2. ඉන්ද්‍රිය සංවර ශීලය – ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස යන ඉන්ද්‍රියයන් සංවර කරගැනීම ඉන්‍ද්‍රිය සංවර ශීලය නම් වේ. උදාහරණයක් ලෙස ඇසින් දකින රූප කෙරෙහි ඇල්මක්, රාගයක් හෝ ගැටීමක් ඇති නොවන අයුරින් ඒවා දුටු මාත්‍රයෙන් ඉවත දමා සත්වයෙක්ය, පුද්ගලයෙක්ය, ස්ත්‍රියක්ය, පුරුෂයෙක්ය යනාදි වශයෙන් නිමිති නොගත යුතු වේ. දකින පුද්ගලයා උසය, මිටිය, කළුය, සුදුය, මහතය, කෙට්ටුය, ලස්සනය, කැතය යනාදි වශයෙන් අනුව්‍යඤ්ජන නොගතයුතු වේ. එසේ නිමිති වශයෙන් හෝ අනුව්‍යඤ්ජන වශයෙන් නොසලකා ඇස සංවර කරගත යුතු වේ. කන, නාසය ආදී ඉඳුරන්ද මෙසේම සංවර කරගැනීමෙන් ඉන්‍ද්‍රිය සංවර ශීලය පිරිසිදු වේ.
3. ආජීව පාරිශුද්ධි ශීලය – මිථ්‍යා ආජීවයෙන් වැළකී සම්මා ආජීවයේ සිට තම දිවිපැවැත්ම සකසා ගැනීම ආජීව පාරිශුද්ධි ශීලය නම් වේ. නිවන් සාක්‍ෂාත් කරගනු කැමති සත්පුරුෂයන් විසින් නොකළයුතු යැයි බුදුරජාණන් වහන්සේ වදාළ මත්පැන් මත්ද්‍රව්‍ය වෙළඳාම්, අවිආයුධ වෙළඳාම්, වසවිස වෙළඳාම්, මස් පිණිස සතුන් වෙළඳාම්, වහල් වෙළඳාම් යන වැරදි ආජීවයෙන් වැළකීම සුදුසු වේ.
4. ප්‍රත්‍ය සන්නිශ්‍රිත ශීලය – තමා පරිහරණය කරන ආහාර, ඇඳුම් පැළඳුම්, ගේ දොර, බෙහෙත් හෙත් ආදී ප්‍රත්‍යයන් සිහි නුවණින් සලකා බලා පරිහරණය කිරීම ප්‍රත්‍ය සන්නිශ්‍රිත ශීලය නම් වේ. ගිහි පැවිදි කාහටත් පාවිච්චි කළ හැකි, අපගේ ගුරු උතුමන් වහන්සේලා විසින් පරිහරණය කරන ලද සිව්පස ප්‍රත්‍යවේක්‍ෂා පාඨ මෙසේ දක්වමි. ඒවා හොඳින් කියවා බලා, මතකයේ තබාගෙන සිව්පසය පරිභෝග කිරීමේ දී නුවණින් යුතුව සිදු කිරීමෙන් ඉක්මනින් භාවනාවේ ප්‍රතිඵල ළඟා කරගත හැකි වේ.
චීවර ප්‍රත්‍යවේක්ෂාව
බුදු පසේබුදු මහරහතන් වහන්සේලා විසින් සාමි පරිභෝගයෙන්ද, සෙසු ආර්යයන් වහන්සේලා විසින් දායජ්ජ පරිභෝගයෙන්ද පරිභෝග කරන ලද මේ චීවරය (ඇඳුම) පැතූ බෝධියෙන් නිවන් සුව ලබනු පිණිස, දායජ්ජ පරිභෝගයට අනුලෝම වන සේ ප්‍රත්‍යවේක්‍ෂා කොට නුවණින් පිළිගනිමි, පරිභෝග කරමි.
මේ චීවරය (ඇඳුම) සීතලෙන් වන පීඩාවෙන් වැළකීම පිණිසද, උණුසුමෙන් වන පීඩාවෙන් වැළකීම පිණිසද, මැසි මදුරු අව් වැසි සුළං විසකුරු සතුන් ආදීන්ගේ ස්පර්ශයෙන් වන පීඩාවෙන් වැළකීම පිණිසද, විශේෂයෙන් ශරීරය සංවර කර ගැනීම පිණිසද පරිභෝග කරන්නෙමි.
මෙසේ උපකාර වන්නා වූ මේ චීවරය (ඇඳුම) සත්වයෙක් පුද්ගලයෙක් ආත්මයක්ද නොවූ නිස්සත්ව නිර්ජීව ශූන්‍ය වූ ධාතු මාත්‍රයෙකි. මේ චීවරය පරිභෝග කරන්නාද සත්වයෙක් පුද්ගලයෙක් ආත්මයක්ද නොවූ නිස්සත්ව නිර්ජීව ශූන්‍ය වූ ධාතු මාත්‍රයෙකි.
මේ චීවරය (ඇඳුම) පරිභෝග කිරීමට ප්‍රථමයෙන් පිරිසිදු වූවත් දෙතිස් කුණපය වැළඳ ගැනීමෙන් අතිශයින් පිළිකුල් බවට පත්වන්නේය. අතට ගැනීමෙන්ද, ඇඳීමෙන්ද, පෙරවීමෙන්ද, පිළිකුල් වන්නේය. ශරීරයේ කේශ, ලෝම, නිය, සම්, පිත්, සෙම්, සැරව, කෙළ, සොටු, කබ, කඳුලු, වුරුණු තෙල්, මළ, මුත්‍රාදිය තැවරීමෙන්ද මළ කුණක් එතූ වස්ත්‍රයක් මෙන් පිළිකුල් වන්නේය.
පිණ්ඩපාත ප්‍රත්‍යවේක්ෂාව
මේ දානය සපයන සියලු දෙනාම නිදුක් වෙත්වා…! නිරෝගි වෙත්වා…! සුවපත් වෙත්වා…! කියා මෛත්‍රියෙන් ප්‍රත්‍යාවේක්ෂා කරමි. අනන්ත බුදු, පසේ බුදු, මහරහතන් වහන්සේලා සාමි පරිභෝගයෙන් පරිභෝග කළාවූද, සෙසු ආර්යයන් වහන්සේලා දායජ්ජ පරිභෝගයෙන් පරිභෝග කරන ලද්දාවූද, මේ ධාර්මික ආහාරය පැතූ බෝධියෙන් නිවන් සුව ලබනු පිණිස පාරමී පුරණ ශීර්ෂයෙන්, දායජ්ජ පරිභෝගයට අනුලෝම වන පරිද්දෙන් සිහි නුවණින් සලකා
ප්‍රත්‍යාවේක්‍ෂාකොට පිළිගනිමි, වළඳමි.
ගම් දරුවන් මෙන් ක්‍රීඩා පිණිසවත්, මල්ලවයන් මෙන් බල මද පුරුෂ මද වඩනු පිණිසවත්, වෛශ්‍යාවන් මෙන් අන්තඃපුර රාජ මහේෂිකාවන් මෙන් ශරීරයේ අඩු තැන් පුරවනු පිණිසවත්, නළු නිළියන් මෙන් ගත සරසනු පිණිසවත් වළඳන්නේ නොවෙමි.
ජීවිතයේ පැවැත්ම පිණිසත්, කුසගිනි නිවනු පිණිසත් ශාසන බ්‍රහ්මචරියාවට අනුග්‍රහ පිණිසත් වළඳන්නේ වෙමි. මේ ආහාරය පරිභෝගයෙන් මෙතෙක් පැවති කුසගිනි වේදනාවෝ නැති වන්නේය. ප්‍රමාණය ඉක්මවා හෝ අපථ්‍ය ආහාර හෝ වැළඳීමෙන් සිදුවිය හැකි වේදනා නූපදින්නේය. මෙයින් මාගේ ජීවිත යාත්‍රාවද වන්නේය යන ප්‍රයෝජනය, පිණිස වළඳමි.
මෙසේ උපකාරකව පවත්නා වූ මේ ආහාරය සත්තවයෙක් පුද්ගලයෙක් ආත්මයක්ද නොවූ නිස්සත්ව නිජ්ජීව ශූන්‍ය වූ ධාතු මාත්‍රයෙකි… යනුවෙන් පිළිකුල් වශයෙන් හා ධාතු වශයෙන් සැලකිය යුතුය.
සේනාසන ප්‍රත්‍යවේක්ෂාව
බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා … ප්‍රත්‍යවේක්‍ෂා කොට නුවණින් පිළිගනිමි, පරිභෝග කරමි.
මේ සෙනසුන සීතලෙන් වන පීඩාවෙන් වැළකීම පිණිසද, උණුසුමෙන් වන පීඩාවෙන් වැළකීම පිණිසද, මැසි මදුරු අව් වැසි සුළං විසකුරු සතුන් ආදීන්ගේ ස්පර්ශයෙන් වන පීඩාවෙන් වැළකීම පිණිසද, නපුරු ඍතූන්ගෙන් වන විපත් වළක්වා ගැනීම පිණිස ද, විවේකය පිණිස ද පරිභෝග කරන්නෙමි.
මෙසේ උපකාරකව පවත්නා වු මේ සෙනසුන සත්තවයෙක් පුද්ගලයෙක් ආත්මයක්ද නොවූ නිස්සත්ව නිර්ජීව ශූන්‍ය වූ ධාතු මාත්‍රයෙකි. … යනුවෙන් පිළිකුල් වශයෙන් හා ධාතු වශයෙන් සැලකිය යුතුය.
ගිලන්පස ප්‍රත්‍යවේක්ෂාව
බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා … ප්‍රත්‍යවේක්‍ෂා කොට නුවණින් පිළිගනිමි, පරිභෝග කරමි.
උපන්නා වු ශාරීරික රෝගාබාධ දුක් වේදනා සන්නිඳවා ගැනීම පිණිස මේ ගිලන්පස බෙහෙත් පිරිකර පිළිගනිමි, වළඳමි.
ඉහත පරිදි පිළිකුල් වශයෙන් හා ධාතු වශයෙන් සැලකිය යුතුය.
මෙසේ පිරිසිදු ශීලයක පිහිටාගෙන සුදුසු කල්‍යාණ මිත්‍රයන් වහන්සේ නමක් වෙතින් සමථ- විදර්ශනා භාවනා සඳහා උපදෙස් ලබා ගත යුතු වේ. එසේ සුදුසු කල්‍යාණ මිත්‍රයන් සොයා ගැනීම වර්තමානයේ ඉතාම අපහසු වේ. එහෙයින් සුදුසු කල්‍යාණ මිත්‍රයන් සොයා ගත නොහැකි නම් ඊට සුදුසු ග්‍රන්ථ පරිශීලනය කළ යුතු වේ. එසේ සුදුසු ග්‍රන්ථයක් ද සොයා ගත නොහැකි පින්වතුන් මේ ලිපි පෙළ පරිශීලනය කර සමථ විදර්ශනා භාවනා වඩා ලබාගත් බුදුසසුන ඉක්මයා නොදී අප්‍රමාදී වෙත්වා…!

Monday, April 6, 2020

කුසල් සිත වඩමු


බුදු සසුනේ නිවන් මග ශීල, සමාධි, ප්‍රඥා යනුවෙන් කොටස් තුනකින් සමන්විත වේ. එහි සමාධිය සහ ප්‍රඥාව වැඩි දියුණු කරගැනීමට භාවනාව උපකාරී වේ. භාවනා යන පදයේ අර්ථය වන්නේ වැඩීම යන්නයි. එනම් කුසල සිත වැඩීමයි.
අනාදිමත් සංසාරයේ දී අයෝනිසොමනසිකාරයෙන් යුක්තව අවිද්‍යාව, තෘෂ්ණාව, මානය, දිට්ඨිය, ද්වේෂය යනාදි කෙලෙස් දියුණු වන අන්දමින් සිත් පරපුර පැවැත්වීම නිසා පුද්ගල සන්තානය බොහෝ සෙයින් කෙලෙසුන්ටට යට වී කෙලෙස් පුරුදුවලට පුරුදු වී, ඇබ්බැහි වී පවතී. වරින්වර කුසලයක් සිතේ මතු වුව ද එය දිගටම පවත්වාගෙන යාමට තරම් භාවිත ශක්තියක් නැති බැවින් නැවතත් කෙලෙසුන්ම හිස ඔසවයි. සංසාර ගමන නොසිඳී පවතින්නේ මේ අවිද්‍යා, තෘෂ්ණාදි කෙලෙස් නිසාම වේ. සත්‍යය දැකිය හැකි සම්මාදිට්ඨිය නොමැති නිසා අසත්‍යය සත්‍යය වශයෙන් දැක, දුක් සහිත දෙය සැප වශයෙන් දැක දුකෙහිම ගැලී සිටීම සත්වයන්ගේ නියම ස්වභාවය වේ. මේ අවාසනාවන්ත තත්වයෙන් මිදීමට නම් සිත විසින්ම සත්‍යය දැකිය යුතු වේ. ඒ සඳහා කෙලෙසුන්ගෙන් වැසී ඇති සිත ඉන් මුදවාගෙන කුසලයක පුරුදු කළ යුතු වේ. බෝධිපාක්‍ෂික ධර්මයන් සිතතුළ වගා කරගත යුතු වේ. භාවනාවකින් සිදුවන්නේ මෙම කුසලය සිතතුළ වගාකිරීමයි. කිසියම් කුසලාරම්මණයක සිත වැඩීමයි. එම කුසලාරම්මණය වශයෙන් බුදුරජාණන් වහන්සේගේ අසීමිත ගුණස්කන්ධය හෝ මෛත්‍රිය හෝ මරණය සිහිකිරීම හෝ ආශ්වාස ප්‍රාශ්වාසාරම්මණය හෝ එවැනි යමක් අරමුණු කරගත හැකි වේ.

භාවනාවෙහි ප්‍රභේද දෙක (2)
භාවනාවට ගන්නා අරමුණ අනුව බෞද්ධ භාවනාව සමථ භාවනා, විදර්ශනා භාවනා යනුවෙන් දෙවැදෑරුම් වේ. මෙය ත්‍රිපිටක පාලියෙහි ආරම්මණ උපනිජ්ඣායන, ලක්ඛණ උපනිජ්ඣායන යනුවෙන් හඳුන්වා තිබේ.
සිතේ එකඟ බවක් හෙවත් සමාධියක් අත්පත් කරදෙන, නීවරණ ධර්ම විෂ්කම්භන වශයෙන් ප්‍රහාණය කරන හෙවත් නීවරණ ධර්ම යටපත් කරන භාවනාව සමථ භාවනාව නම් වේ. කසිණාදි අරමුණක් ගෙන කරනු ලබන භාවනාව බැවින් මෙය ආරම්මණ උපනිජ්ඣායන ලෙස හැඳින්වේ. මේ සඳහා ත්‍රිපිටකයෙහි කර්මස්ථාන සතළිසක් (40) දැක්වේ. ඒවා සමසතළිස් කර්මස්ථාන ලෙස හැඳින්වේ. අර්පණා සමාධි, උපචාර සමාධි වශයෙන් සිතේ සමාධියක් ඉපදවීම මෙහි දී සිදු වන අතර රූපාවචර සහ අරූපාවචර ධ්‍යාන වශයෙන් අෂ්ට සමාපත්ති දක්වා සමාධිය දියුණු කළහැකි වේ.
සංස්කාර ධර්මයන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් ත්‍රිලක්ෂණයට නංවමින් සිදු කරන භාවනාව විදර්ශනා භාවනාවයි. මෙහි දී සංස්කාරයන්ගේ අනිත්‍යාදි ලක්‍ෂණයන් විශේෂයෙන් බැලීම සිදු කරන බැවින් මෙය ලක්ඛණ උපනිජ්ඣායන ලෙස හඳින්වේ. සෝවාන් ආදී මාර්ගඵලයන්ට පත්ව නිවන් සාක්ෂාත් කර ගැනීමට අනිවාර්යයයෙන්ම වැඩිය යුතු භාවනාව වන්නේ මෙම විදර්ශනා භාවනාවයි. එය සිතෙහි කෙලෙස් ධර්ම සහමුලින්ම නසා සිත නිවනට යොමු කරවයි.

සමසතළිස් කර්මස්ථාන
උපචාර, අර්පණා සමාධි වශයෙන් සිත දියුණු කර රූපාවචර, අරූපාවචර ධ්‍යාන ඉපදවිය හැකි, සමථ භාවනා වශයෙන් වැඩිය හැකි කර්මස්ථාන සතලිස (40) මෙසේ දැක්විය හැකි වේ.
දස කසිණ (10) :           පඨවි, ආපෝ, තේජෝ, වායෝ, නීල, පීත, ලෝහිත, ඕදාත, ආලෝක, ආකාස
දස අශුභ (10) :             උද්ධුමාතක, විනීලක, විපුබ්බක, විච්ඡිද්දක, වික්ඛායිතක, වික්ඛිත්තක, හතවික්ඛිත්තක, ලෝහිතක, පුලවක, අට්ඨික
දස අනුස්සති (10) :       බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, චාගානුස්සති, දේවතානුස්සති, උපසමානුසස්ති, මරණානුස්සති, කායගතාසති, අනාපානසති
බ්‍රහ්ම විහාර (04) :         මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛා
අරූප ධ්‍යාන (04) :        ආකාසානඤ්චායතනය, විඤ්ඤානඤ්චායතනය, ආකිඤ්චඤ්ඤායතනය, නේවසඤ්ඤානාසඤ්ඤායතනය
ආහාරයේ පටික්කූල සඤ්ඤාව 01
චතුධාතු වවත්ථානය 01
මේ අතරින් දස කසිණ වලින් සහ ආනාපානසතියෙන් රූපාවචර ධ්‍යාන සතරම ඉපදවිය හැකි වේ.
මෛත්‍රිය, කරුණාව, මුදිතාව යන කර්මස්ථාන තුනෙන් පළමු, දෙවන හා තෙවන ධ්‍යාන පමණක් ඉපදවිය හැකි වේ. චතුර්ථධ්‍යානය ඉපදවිය නොහැකි වේ.
උපේක්‍ෂා කර්මස්ථානයෙන් චතුර්ථධ්‍යානය පමණක් ඉපදවිය හැකි වේ.
දස අශුභ සහ කායගතාසතියෙන් යන කර්මස්ථාන එකොළොසෙන් ප්‍රථමධ්‍යානය පමණක් ඉපදවිය හැකි වේ.
බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, චාගානුස්සති, දේවතානුස්සති, උපසමානුසස්ති, මරණානුස්සති, ආහාරයේ පටික්කූලසඤ්ඤාව සහ චතුධාතුවවත්ථානය යන භාවනා කමටහන් දසයෙහි උපචාර භාවනාව පමණක් සමෘද්ධ වේ. එනම් ධ්‍යාන ඉපදවිය නොහැකි වේ. එකී ආරම්මණයන් ගැඹුරු බැවින් ද බොහෝ බැවින් ද සිතට හසුකරගෙන බොහෝ වේලා සිත නිශ්චල කොට තබාගත නොහැකි බැවිනි.
ආකාස කසිණය හැර සෙසු කසිණ නවයෙහි කසිණුග්ඝාටිමාකාසාදි අරූපාවචර ආරම්මණයන්ගෙන් සතර අරූපාවචර ධ්‍යාන ඉපදවිය හැකි වේ.

භාවනා ප්‍රතිපත්ති මාර්ග 04
හුදු සමථ භාවනාවෙන් පමණක් නිවන් අවබෝධ කරගත නොහැකි වේ. ඒ සඳහා විදර්ශනා වැඩිය යුතු වේ. එහෙත් එසේ වූ පමණින් සමථ භාවනාව ඉවත දැමිය යුතු ද නොවේ. අංගුත්තර චතුක්ක නිපාතයේ අරහත්තුප්පත්ති සූත්‍රයේ (යුගනද්ධ සූත්‍රය) ආනන්ද මාහිමිපාණන් වහන්සේ දක්වන ප්‍රධාන භාවනා ප්‍රතිපත්ති මාර්ග සතරක් (4) වේ.
1.   සමථ පුබ්බඩ්ගම විපස්සනාව : පළමුව ප්‍රථමධ්‍යානාදි සමාධියක් උපදවා එයින් නැගී සිට විදසුන් වැඩීම.
2.   විපස්සනා පුබ්බඩ්ගම සමථය : පළමුව විදර්ශනා වඩා විදර්ශනා ඤාණ උපදවා (අනුලෝම ඤාණය දක්වා) යළි ඒ විදර්ශනා ඤාණයෙහි සිට සමථ භාවනාවකින් සමාධිය ඉපදවීම.
3.   යුගනද්ධ ප්‍රතිපදාව : සමථයත් විදර්ශනාවත් සමව වඩා නිවන් පසක් කරගැනීමයි. ප්‍රථමධ්‍යානයට සමවැදී ඉන් නැගී සිට විදර්ශනා කරයි. නැවත ද්විතීය ධ්‍යානයට සමවැදී ඉන් නැගී සිට විදර්ශනා කරයි. මෙසේ සමථයත්, විදර්ශනාවත් යුගලව සමව වැඩීමෙන් මගපල නිවන් ලැබීමයි.
4.   ධම්මුද්ධච්ච පුබ්බඩ්ගම මාර්ගය : මෙය ශුද්ධ විදර්ශනා මාර්ගයයි. හුදු විදර්ශනා වැඩීම් වශයෙන් උපදින විදර්ශනා උපක්ලේෂයන්හි විසිරෙන සිත සංසිඳුවමින් ක්‍ෂණිකව, ක්‍ෂණිකව පහළ වෙමින් නීවරණ විෂ්කම්භණය වන උපචාර වශයෙන් ලැබෙන සමාධියෙන් විදර්ශනා වඩා මගපල නිවන් සාක්‍ෂාත් කරගැනීමයි.
මේ අතරින් පළමුව දැක්වෙන ප්‍රතිපදාවන් තුනම (3) සමථයානිකයාගේ ප්‍රතිපත්ති මාර්ගය වේ. අවසන් ප්‍රතිපදාව ශුද්ධ විදර්ශනාව හෙවත් ශුෂ්ක විදර්ශනාව ලෙස ද හැඳින්වේ. එබැවින් සමථභාවනා වැඩීම හෝ ධ්‍යාන ඉපදවීම නිෂ්ඵල යැයි ඉවත දැමියයුතු නොවේ. යම් කෙනෙක් හැකි නම් පළමුව සමථ භාවනාවකින් උපචාර, අර්පණා සමාධියක් උපදවා අනතුරුව විදසුන් වඩන්නේ නම් ඉතා පහසුවෙන් විදර්ශනාව මස්තකප්‍රාප්ත කරගත හැකි වේ.
එසේම හුදු විදර්ශනාව පමණක්ම වැඩීමෙන් ද නිවන් පසක් කරගත හැකි වේ. ප්‍රතිපත්ති මාර්ගය සම්පූර්ණ කළ රහතන් වහන්සේ විසින් ද රූපාවචර, අරූපාවචර ධ්‍යාන උපදවන බව අභිධර්ම පිටකයේ, ධම්මසඩ්ගණී ප්‍රකරණයේ කතමේ ධම්මා අබ්‍යාකතා? යස්මිං සමයෙ රූපාවචරං ඣානං භාවෙති කිරියං නෙව කුසලං නාකුසලං න ච කම්මවිපාකං දිට්ඨධම්මසුඛවිහාරං...යනාදි වශයෙන් සඳහන් වීමෙන් පැහැදිලි වන්නේ ශුෂ්ක විදර්ශක රහතන්වහන්සේලා වැඩ සිටි බවයි. උන්වහන්සේලා අර්හත්වයට පත්වූ පසු ධ්‍යාන වැඩීම සිදුකර ඇත.
එබැවින් නිවන් පසක් කරගනු කැමති සත්පුරුෂයෝ නොපමාව සමථ-විදර්ශනා භාවනා වඩත්වා.

පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

Thursday, April 2, 2020

නිවන් අවබෝධයට භාවනා කළ යුතුම ද?


‘නිවන් අවබෝධයට භාවනා කළ යුතුම ද?’ යන්න වර්තමානයේ බොහෝ දෙනෙකුට ඇති වී තිබෙන ගැටළුවකි. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි කළ ධර්ම ශ්‍රවණයෙන් නිවන් සාක්ෂාත් කර ගත් පුද්ගලයින් සංඛ්‍යාව මෙපමණක් යැයි කිවනොහැකි තරම් වේ. භාවනා කර නිවන් දුටු පුද්ගලයන් පිළිබඳව ත්‍රිපිටක පාළියෙහි සඳහන් වන්නේ ඉතාම අල්ප වශයෙනි. එහෙයින් බොහෝ දෙනෙකුට ඇතිවන ගැටළුවක් වන්නේ නිවන් දැකීම පිණිස භාවනාව අත්‍යවශ්‍ය කටයුත්තක්ද? යන්නයි.
නිවන් සාක්ෂාත් කරගැනීම පිණිස භාවනාව අත්‍යවශ්‍ය සාධකයක් බවට පත් වේ. මේ පිළිබඳව පැහැදිලි කරගැනීමට අංගුත්තර පඤ්චකනිපාතයේ, පඤ්චඬ්ගික වර්ගයේ එන ‘විමුක්තායතන සූත්‍රය’ ඇසුරු කළ හැකි වේ. එහි මෙසේ සඳහන් වේ.
“පඤ්චිමානි භික්ඛවේ විමුත්තායතනානි, යත්ථ භික්ඛුනෝ අප්පමත්තස්ස අතාපිනෝ පහිතත්තස්ස විහරතෝ අවිමුත්තං වා චිත්තං විමුච්චති, අපරික්ඛීනා වා ආසවා පරික්ඛයං ගච්ඡන්ති, අනනුප්පත්තං වා අනුත්තරං යෝගක්ඛේමං අනුපාපුණාති.” 
‘මහණෙනි, අප්‍රමාදීව, කෙලෙස් තවන වැර ඇතිව, නිවන කරා ගිය සිත් ඇතිව වාසය කරන්නා වූ භික්ෂුවකගේ (යෝගාවචරයෙකුගේ) සංස්කාරයන් කෙරෙන් නොමිදුණු සිත මිදීමට පත්වන, ක්ෂය නොවූ ආශ්‍රව ක්ෂය වීමට පත්වන, නොපැමිණි අනුත්තර යෝගක්ෂේම සංඛ්‍යාත නිර්වාණයට පමුණුවන විමුක්ත ආයතන පසකි.’
මෙසේ ශාසනයෙහි උතුම් නිවන් පිණිස ගුණධර්ම පුරන භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සැමටම නිවන් අවබෝධය පිණිස පවතින විමුක්ත ආයතන හෙවත් නිවන් දොරටු පසක් (5) බුදුරජාණන් වහන්සේ වදාළ සේක. එනම්, ධර්ම ශ්‍රවණය, ධර්ම දේශනය, ධර්ම සජ්ඣායනය, ධර්ම මනසිකාරය සහ භාවනාව යනුවෙනි.
මෙහිදී ධර්ම ශ්‍රවණය, ධර්ම දේශනය, ධර්ම සජ්ඣායනය, ධර්ම මනසිකාරය යන සියල්ලම නිවනට හේතු වන, නිවන් දොරටු බව බුද්ධ දේශනයෙන්ම පැහැදිලි වේ. එහෙත් වරදවා ගත යුතු නොවේ. හුදු ධර්ම ශ්‍රවණය ආදියෙන් පමණක් නිවන් සාක්ෂාත් කරගැනීමට පූර්වයෙහි වැඩූ සිතක් තිබීම අනිවාර්යය වේ. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයට පත්ව ලොව බලා ධර්ම ශ්‍රවණයට සුදුසු නුවණ මුහුකුරා ගිය සත්ත්වයන් පරීක්ෂා කළ සේක. ඒ අනුව ලොව සියලු සත්ත්වයන් පියුම් විලක ඇති පියුම් සේ දකිමින් සතර වැදෑරුම්ව හඳුනා ගත් සේක.
1. උද්ඝටිතඥ - සතරපද ගාථාවක් ඇසූ පමණින් නිවන් සාක්ෂාත් කර ගත හැකි පුද්ගලයන්. උදා - උපතිස්ස පරිබ්‍රාජකතුමා
2. විපඤ්චිතඥ - දීර්ඝ වශයෙන් ධර්ම ශ්‍රවණයෙන් නිවන් සාක්ෂාත් කරගන්නා පුද්ගලයන්. උදා - පස්වග තාපසතුමන් ඇතුළු බොහෝ දෙනා
3. නෙය්‍ය - ධර්ම ශ්‍රවණය කර ඒ ධර්මය අනුව පිළිපදිමින් බොහෝ කලක් භාවනා ආදී ගුණාංග පූරණය කර නිවන් සාක්ෂාත් කරගන්නා පුද්ගලයන්. උදා - චක්ඛුපාල මහරහතන් වහන්සේ වැනි බොහෝ දෙනා
4. පදපරම - ධර්ම ශ්‍රවණ ආදී කිසිදු ලෙසකින් මෙම භවයේ නිවන් සාක්ෂාත් කර නොගන්නා අය.
මේ සතර වැදෑරුම් පුද්ගලයන් අතුරින් පළමු පුද්ගල යුගලයම ධර්ම ශ්‍රවණයෙන් නිවන් සාක්ෂාත් කරගන්නා අය වෙති. අන් අයට භාවනා කිරීම ආදී ගුණධර්ම පූරණය කිරීම අත්‍යවශ්‍ය වේ. එහිදී පළමු පුද්ගල යුගලය ධර්ම ශ්‍රවණාදියකින් ඉක්මනින් නිවන් සාක්ෂාත් කරගනුයේ ඔවුන්ගේ සන්තානය තුළ පූර්ව භවයන්හි භාවනා කිරීම් මඟින් නුවණ මුහුකුරා ගොස් ඇති බැවිනි. එහෙයින් සියලු දෙනාට නිවන් අවබෝධය පිණිස කවර කලෙක හෝ කරනු ලබන භාවනාව අත්‍යවශ්‍ය වේ.
යමෙක් මේ භවයේ භාවනා කරන්නේ නම්, ඔහුට මේ භවයේම නිවන් සාක්ෂාත් කර ගැනීමට එය හේතුවක් වේ. ඒ බව බුදුරජාණන් වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍රයේ වදාළේ මෙසේය.
“යෝ හි කෝචි භික්ඛවේ ඉමේ චත්තාරෝ සතිපට්ඨානේ ඒවං භාවෙය්‍ය, සත්තවස්සානි තස්ස ද්වින්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකඩ්ඛං දිට්ඨේව ධම්මේ අඤ්ඤා සති වා උපාදිසේසේ අනාගාමිතා.” 
‘මහණෙනි, යමෙක් මේ කායානුපස්සනා ආදී සතර සතිපට්ඨානයන් සත් වසක් වඩන්නේ නම් (භාවනා කරන්නේ නම්), ඔහුට මේ අත්භවයේම අරිහත්වයට පත්වීමට හැකි වේ. යම් හෙයකින් උපාදිශේෂ සහිත වූයේ නම් අනාගාමී විය හැකි වේ.’ යනුවෙනි.
එසේම මේ සත් වසක කාලය, සය වස, පස් වස යනාදී ලෙස අඩු වී යමෙක් දින හතක් (7) නමුදු නිවැරදිව මේ සතර සතිපට්ඨානය වඩන්නේ නම් අරිහත්වයට හෝ අනාගාමීඵලයට පත්වන බව බුදු මුවින්ම වදාළ බැවින් තවත් කල්යල් බැලිය යුතු නොවේ.
බුදුසසුනේ උතුම් සෝවාන් මාර්ගඵල ලාභය පිණිස පවතින සෝතාපත්ති අඩ්ග සතරක් (4) ඇති බව සංගීති සූත්‍රයේ සැරියුත් මහරහතන් වහන්සේ දේශනා කළහ. එනම්
1. සත්පුරුෂ සංසේවනය
2. සද්ධර්ම ශ්‍රවණය
3. යොනිසො මනසිකාරය
4. ධම්මානුධම්ම ප්‍රතිපදාව යනුවෙනි.
ඒ අනුව නිවන් සාක්‍ෂාත් කරගැනීමට අපේක්‍ෂා කරන සත්පුරුෂයන් විසින් මෙම කරුණු සතර සම්පූර්ණ කරගතයුතු වේ. සත්පුරුෂයන් ඇසුරු කිරීමත්, ඒ සත්පුරුෂයන් වෙතින් ධර්මශ්‍රවණය කිරීමත් යන කරුණු දෙක පමණක් සම්පූර්ණ වීම ප්‍රමාණවත් නොවන අතර යොනිසො මනසිකාරයෙන් යුතුව ලොව ඇති සියලු දෙය පිළිබඳ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, අසුභ වශයෙන් මනසිකාරය පැවැත්විය යුතු වේ. එපමණක් ද ප්‍රමාණවත් නොවන අතර ලොකෝත්තර මාර්ග ප්‍රතිලාභයට උපකාරී වන්නා වූ පූර්වභාග ප්‍රතිපදාවෙහි හික්මිය යුතු වේ. එම ප්‍රතිපදාව නම් සමථ විදර්ශනා භාවනා කිරීමයි. ඒ බව අංගුත්තර නිකායේ දශක නිපාතයේ එන අවිජ්ජා සූත්‍රයෙන් ප්‍රකට වේ. එහි දැක්වෙන අන්දමට යෝනිසෝ මනසිකාරය පරිපූරණය වීමෙන් සති සම්පජඤ්ඤය පරිපූරණය වේ. සති සම්පජඤ්ඤය පරිපූරණය වීමෙන් ඇස, කන ආදී ඉන්ද්‍රිය සංවරය පරිපූරණය වේ. ඉන්ද්‍රිය සංවරය පරිපූරණය වීමෙන් කාය, වාක්, මනෝ යන ත්‍රිවිධ සුචරිතය පරිපූරණය වේ. ත්‍රිවිධ සුචරිතය පරිපූරණය කිරීමෙන් සතර සතිපට්ඨානය පරිපූරණය වේ. එයින් සප්ත බොජ්ඣඩ්ග ධර්මයන් පරිපූරණය වන අතර විද්‍යාවිමුක්ති සංඛ්‍යාත නිර්වාණාවබෝධය සඵල වේ. එබැවින් ධර්මානුධර්ම ප්‍රතිපදාවට ශීල, සමාධි, ප්‍රඥා යන තිවිධ ප්‍රතිපදාවම අයත් වේ.
මේ අනුව නිවන් දකිනු කැමතියන් විසින් සත්පුරුෂයන් ඇසුරු කරමින් සද්ධර්මශ්‍රවණය කර යෝනිසො මනසිකාරය පවත්වමින් සතර සංවර ශීලය ආරක්‍ෂා කරගනිමින්, සමථ විදර්ශනා භාවනා වැඩිය යුතු වේ. බුදුරජාණන වහන්සේ නිතර කරන අවවාදයක් මෙහි දී සිහිපත් කරගත යුතු වේ. එනම්
“ඣායථ භික්‍ඛවෙ, මා පමාදත්‍ථ. මා පච්ඡා විප්පටිසාරිනො අහුවත්‍ථ. අයං වො අම්හාකං අනුසාසනී”
‘මහණෙනි, භාවනා කරව්. ධ්‍යාන වඩව්. සිහියෙන් තොරව ප්‍රමාද නොවව්. සිහියෙන් තොරව ප්‍රමාද වී පසුව විපිළිසර නොවව්. මෙය තොපට අපගේ අනුශාසනයයි.’
එබැවින් නිවන් අවබෝධ කරගැනීමට උත්සුක වන සියල්ලෝම එළඹ සිටි සිහියෙන් යුතුව අප්‍රමාදීව සමථ විදර්ශනා භාවනා වඩා, නිවන් මග සාක්‍ෂාත් කරගනිත්වා.

භාවනාවට සූදානම් වීම - ශීලය පිරිසිදු කරගැනීම

සමථ භාවනා, විදර්ශනා භාවනා වශයෙන් කුසල් සිත වැඩීම සඳහා සූදානම් වන සියලුදෙනාම පළමුව තමතමන්ගේ ශීලය පිරිසිදු කරගත යුතු වේ. පිරිසිදු සිල් ඇත...

Rev. Maho Gnanaloko