බුදු සසුනේ නිවන් මග ශීල, සමාධි, ප්‍රඥා යනුවෙන් කොටස් තුනකින් සමන්විත වේ. එහි සමාධිය සහ ප්‍රඥාව වැඩි දියුණු
කරගැනීමට භාවනාව උපකාරී වේ. භාවනා යන පදයේ අර්ථය වන්නේ වැඩීම යන්නයි. එනම් කුසල සිත
වැඩීමයි.
අනාදිමත් සංසාරයේ දී අයෝනිසොමනසිකාරයෙන් යුක්තව අවිද්‍යාව,
තෘෂ්ණාව, මානය, දිට්ඨිය, ද්වේෂය යනාදි කෙලෙස් දියුණු වන අන්දමින්
සිත් පරපුර පැවැත්වීම නිසා පුද්ගල සන්තානය බොහෝ සෙයින් කෙලෙසුන්ටට යට වී කෙලෙස් පුරුදුවලට
පුරුදු වී, ඇබ්බැහි වී පවතී. වරින්වර කුසලයක් සිතේ මතු වුව ද එය දිගටම
පවත්වාගෙන යාමට තරම් භාවිත ශක්තියක් නැති බැවින් නැවතත් කෙලෙසුන්ම හිස ඔසවයි. සංසාර
ගමන නොසිඳී පවතින්නේ මේ අවිද්‍යා, තෘෂ්ණාදි කෙලෙස් නිසාම වේ. සත්‍යය දැකිය
හැකි සම්මාදිට්ඨිය නොමැති නිසා අසත්‍යය සත්‍යය වශයෙන් දැක, දුක් සහිත දෙය සැප වශයෙන් දැක දුකෙහිම ගැලී සිටීම සත්වයන්ගේ නියම ස්වභාවය වේ.
මේ අවාසනාවන්ත තත්වයෙන් මිදීමට නම් සිත විසින්ම සත්‍යය දැකිය යුතු වේ. ඒ සඳහා කෙලෙසුන්ගෙන්
වැසී ඇති සිත ඉන් මුදවාගෙන කුසලයක පුරුදු කළ යුතු වේ. බෝධිපාක්‍ෂික ධර්මයන් සිතතුළ
වගා කරගත යුතු වේ. භාවනාවකින් සිදුවන්නේ මෙම කුසලය සිතතුළ වගාකිරීමයි. කිසියම් කුසලාරම්මණයක
සිත වැඩීමයි. එම කුසලාරම්මණය වශයෙන් බුදුරජාණන් වහන්සේගේ අසීමිත ගුණස්කන්ධය හෝ මෛත්‍රිය
හෝ මරණය සිහිකිරීම හෝ ආශ්වාස ප්‍රාශ්වාසාරම්මණය හෝ එවැනි යමක් අරමුණු කරගත හැකි වේ.
භාවනාවෙහි ප්‍රභේද
දෙක (2)
භාවනාවට ගන්නා අරමුණ අනුව බෞද්ධ භාවනාව සමථ භාවනා,
විදර්ශනා භාවනා යනුවෙන් දෙවැදෑරුම් වේ. මෙය ත්‍රිපිටක පාලියෙහි ‘ආරම්මණ උපනිජ්ඣායන, ලක්ඛණ උපනිජ්ඣායන’
යනුවෙන් හඳුන්වා තිබේ.
සිතේ එකඟ බවක් හෙවත් සමාධියක් අත්පත් කරදෙන, නීවරණ ධර්ම විෂ්කම්භන වශයෙන් ප්‍රහාණය කරන හෙවත් නීවරණ ධර්ම යටපත් කරන භාවනාව
සමථ භාවනාව නම් වේ. කසිණාදි අරමුණක් ගෙන කරනු ලබන භාවනාව බැවින් මෙය ‘ආරම්මණ උපනිජ්ඣායන’
ලෙස හැඳින්වේ. මේ සඳහා ත්‍රිපිටකයෙහි කර්මස්ථාන සතළිසක් (40) දැක්වේ. ඒවා සමසතළිස් කර්මස්ථාන ලෙස හැඳින්වේ. අර්පණා සමාධි, උපචාර සමාධි වශයෙන් සිතේ සමාධියක් ඉපදවීම මෙහි දී සිදු වන අතර රූපාවචර සහ අරූපාවචර
ධ්‍යාන වශයෙන් අෂ්ට සමාපත්ති දක්වා සමාධිය දියුණු කළහැකි වේ.
සංස්කාර ධර්මයන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් ත්‍රිලක්ෂණයට නංවමින් සිදු කරන භාවනාව විදර්ශනා භාවනාවයි. මෙහි
දී සංස්කාරයන්ගේ අනිත්‍යාදි ලක්‍ෂණයන් විශේෂයෙන් බැලීම සිදු කරන බැවින් මෙය ‘ලක්ඛණ උපනිජ්ඣායන’
ලෙස හඳින්වේ. සෝවාන් ආදී මාර්ගඵලයන්ට පත්ව නිවන් සාක්ෂාත් කර ගැනීමට අනිවාර්යයයෙන්ම
වැඩිය යුතු භාවනාව වන්නේ මෙම විදර්ශනා භාවනාවයි. එය සිතෙහි කෙලෙස් ධර්ම සහමුලින්ම නසා
සිත නිවනට යොමු කරවයි.
සමසතළිස් කර්මස්ථාන
උපචාර, අර්පණා සමාධි වශයෙන් සිත දියුණු කර රූපාවචර,
අරූපාවචර ධ්‍යාන ඉපදවිය හැකි, සමථ භාවනා වශයෙන් වැඩිය හැකි කර්මස්ථාන
සතලිස (40) මෙසේ දැක්විය හැකි වේ.
දස කසිණ (10) : පඨවි, ආපෝ, තේජෝ, වායෝ, නීල, පීත, ලෝහිත, ඕදාත, ආලෝක, ආකාස
දස අශුභ (10) : උද්ධුමාතක, විනීලක, විපුබ්බක, විච්ඡිද්දක,
වික්ඛායිතක, වික්ඛිත්තක, හතවික්ඛිත්තක, ලෝහිතක, පුලවක, අට්ඨික
දස අනුස්සති (10) : බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති,
සීලානුස්සති, චාගානුස්සති, දේවතානුස්සති, උපසමානුසස්ති, මරණානුස්සති, කායගතාසති, අනාපානසති
බ්‍රහ්ම විහාර (04) : මෙත්තා, කරුණා, මුදිතා,
උපෙක්ඛා
අරූප ධ්‍යාන (04) : ආකාසානඤ්චායතනය, විඤ්ඤානඤ්චායතනය, ආකිඤ්චඤ්ඤායතනය,
නේවසඤ්ඤානාසඤ්ඤායතනය
ආහාරයේ පටික්කූල සඤ්ඤාව 01
චතුධාතු වවත්ථානය 01
මේ අතරින් දස කසිණ වලින් සහ ආනාපානසතියෙන් රූපාවචර ධ්‍යාන
සතරම ඉපදවිය හැකි වේ.
මෛත්‍රිය, කරුණාව, මුදිතාව යන කර්මස්ථාන
තුනෙන් පළමු, දෙවන හා තෙවන ධ්‍යාන පමණක් ඉපදවිය හැකි වේ. චතුර්ථධ්‍යානය
ඉපදවිය නොහැකි වේ.
උපේක්‍ෂා කර්මස්ථානයෙන් චතුර්ථධ්‍යානය පමණක් ඉපදවිය හැකි
වේ.
දස අශුභ සහ කායගතාසතියෙන් යන කර්මස්ථාන එකොළොසෙන් ප්‍රථමධ්‍යානය
පමණක් ඉපදවිය හැකි වේ.
බුද්ධානුස්සති, ධම්මානුස්සති,
සංඝානුස්සති, සීලානුස්සති, චාගානුස්සති, දේවතානුස්සති, උපසමානුසස්ති, මරණානුස්සති,
ආහාරයේ පටික්කූලසඤ්ඤාව සහ චතුධාතුවවත්ථානය යන භාවනා කමටහන් දසයෙහි උපචාර භාවනාව
පමණක් සමෘද්ධ වේ. එනම් ධ්‍යාන ඉපදවිය නොහැකි වේ. එකී ආරම්මණයන් ගැඹුරු බැවින් ද බොහෝ
බැවින් ද සිතට හසුකරගෙන බොහෝ වේලා සිත නිශ්චල කොට තබාගත නොහැකි බැවිනි.
ආකාස කසිණය හැර සෙසු කසිණ නවයෙහි කසිණුග්ඝාටිමාකාසාදි අරූපාවචර
ආරම්මණයන්ගෙන් සතර අරූපාවචර ධ්‍යාන ඉපදවිය හැකි වේ.
භාවනා ප්‍රතිපත්ති
මාර්ග 04
හුදු සමථ භාවනාවෙන් පමණක් නිවන් අවබෝධ කරගත නොහැකි වේ. ඒ
සඳහා විදර්ශනා වැඩිය යුතු වේ. එහෙත් එසේ වූ පමණින් සමථ භාවනාව ඉවත දැමිය යුතු ද නොවේ.
අංගුත්තර චතුක්ක නිපාතයේ අරහත්තුප්පත්ති සූත්‍රයේ (යුගනද්ධ සූත්‍රය) ආනන්ද මාහිමිපාණන්
වහන්සේ දක්වන ප්‍රධාන භාවනා ප්‍රතිපත්ති මාර්ග සතරක් (4) වේ.
1. සමථ පුබ්බඩ්ගම විපස්සනාව : පළමුව ප්‍රථමධ්‍යානාදි සමාධියක්
උපදවා එයින් නැගී සිට විදසුන් වැඩීම.
2. විපස්සනා පුබ්බඩ්ගම සමථය : පළමුව විදර්ශනා වඩා විදර්ශනා ඤාණ
උපදවා (අනුලෝම ඤාණය දක්වා) යළි ඒ විදර්ශනා ඤාණයෙහි සිට සමථ භාවනාවකින් සමාධිය ඉපදවීම.
3. යුගනද්ධ ප්‍රතිපදාව : සමථයත් විදර්ශනාවත් සමව වඩා නිවන් පසක්
කරගැනීමයි. ප්‍රථමධ්‍යානයට සමවැදී ඉන් නැගී සිට විදර්ශනා කරයි. නැවත ද්විතීය ධ්‍යානයට
සමවැදී ඉන් නැගී සිට විදර්ශනා කරයි. මෙසේ සමථයත්, විදර්ශනාවත් යුගලව
සමව වැඩීමෙන් මගපල නිවන් ලැබීමයි.
4. ධම්මුද්ධච්ච පුබ්බඩ්ගම මාර්ගය : මෙය ශුද්ධ විදර්ශනා මාර්ගයයි.
හුදු විදර්ශනා වැඩීම් වශයෙන් උපදින විදර්ශනා උපක්ලේෂයන්හි විසිරෙන සිත සංසිඳුවමින්
ක්‍ෂණිකව, ක්‍ෂණිකව පහළ වෙමින් නීවරණ විෂ්කම්භණය වන උපචාර වශයෙන් ලැබෙන
සමාධියෙන් විදර්ශනා වඩා මගපල නිවන් සාක්‍ෂාත් කරගැනීමයි.
මේ අතරින් පළමුව දැක්වෙන ප්‍රතිපදාවන් තුනම (3) සමථයානිකයාගේ ප්‍රතිපත්ති මාර්ගය වේ. අවසන් ප්‍රතිපදාව ශුද්ධ විදර්ශනාව හෙවත්
ශුෂ්ක විදර්ශනාව ලෙස ද හැඳින්වේ. එබැවින් සමථභාවනා වැඩීම හෝ ධ්‍යාන ඉපදවීම නිෂ්ඵල යැයි
ඉවත දැමියයුතු නොවේ. යම් කෙනෙක් හැකි නම් පළමුව සමථ භාවනාවකින් උපචාර, අර්පණා සමාධියක් උපදවා අනතුරුව විදසුන් වඩන්නේ නම් ඉතා පහසුවෙන් විදර්ශනාව මස්තකප්‍රාප්ත
කරගත හැකි වේ.
එසේම හුදු විදර්ශනාව පමණක්ම වැඩීමෙන් ද නිවන් පසක් කරගත හැකි
වේ. ප්‍රතිපත්ති මාර්ගය සම්පූර්ණ කළ රහතන් වහන්සේ විසින් ද රූපාවචර, අරූපාවචර ධ්‍යාන උපදවන බව අභිධර්ම පිටකයේ, ධම්මසඩ්ගණී ප්‍රකරණයේ
‘කතමේ ධම්මා අබ්‍යාකතා? යස්මිං සමයෙ රූපාවචරං
ඣානං භාවෙති කිරියං නෙව කුසලං නාකුසලං න ච කම්මවිපාකං දිට්ඨධම්මසුඛවිහාරං...’
යනාදි වශයෙන් සඳහන් වීමෙන් පැහැදිලි වන්නේ ශුෂ්ක විදර්ශක රහතන්වහන්සේලා වැඩ
සිටි බවයි. උන්වහන්සේලා අර්හත්වයට පත්වූ පසු ධ්‍යාන වැඩීම සිදුකර ඇත.
එබැවින් නිවන් පසක් කරගනු කැමති සත්පුරුෂයෝ නොපමාව සමථ-විදර්ශනා
භාවනා වඩත්වා.

No comments:
Post a Comment